අයහපත් කාලගුණය හෙතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්වය පිළිබඳ විශේෂ සාකච්ජාවක්

මැයි 24, 2024

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (මැයි 24) දින ආරක්‍ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ පිහිටි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී දැනට ඇති වී තිබෙන ගස් කඩා වැටීමේ අවදානම් තත්වය පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. සංඛ්‍යා ලේඛන අනුව පසුගිය 19 වන දින සිට මේ දක්වා සිදු වූ ගස් කඩාවැටීම් හේතුවෙන් පුද්ගල මරණ 6ක් හා තුවාල වීම් 11ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 18ක පවුල් 9616ක පුද්ගලයන් 34880ක් ආපදාවට ලක් වී ඇති බව හඳුනාගෙන ඇත.

මේ මොහොතේ ආපදාවට ලක්වූ පුද්ගලයින්ගේ සහන සැලසීම සදහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රාජ්‍ය දෙපාර්තමේන්තු, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරී, සහන සේවා මධ්‍යස්ථානය නිලධාරීන් හා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය එක්ව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග අමාත්‍යතුමාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය කාලසීමාව තුල ගස් කඩා වැටීම්වල වර්ධනයක්, වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන්ම 'සුරකිමු' වැඩසටහන යටතේ පාසල සහ පාසල් භූමියේ දරුවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අපේ අවධානය ප්‍රමුඛව ලබාදෙන්න කටයුතු කරන බව අවධාරණය කළේය.

එමෙන්ම, මාර්ග දෙපස ගස් කඩාවැටීම් සංඛ්‍යාව ඉහළ අගයක තිබෙන බැවින් මෙම තත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරි සහ පළාත් පාලන ආයතනවල සහාය ඒ සදහා අපේක්‍ෂා කරන බවත්, ගස් සිටුවීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් අනතුරුව විශේෂ කමිටුවක උපදෙස් මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට සහ ඒ අනුව මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වන බවත් සදහන් කලේය.

තවද, අනාරක්‍ෂිත මෙන්ම අනවසර ඉදිකිරීම් හේතුවෙන් පහත්බිම් වල ඇති වන ජල ගැලීම් තත්වයන් පාලනය කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එම නිසා ඇති විය හැකි ආපදා තත්වයන් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ එහිදී අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. තවද එවැනි හදිසි අවස්ථාවන් පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් ගමගේ ධර්මතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.