මැයි 25, 2024

අඛණ්ඩව තෙවැනි දිනටත් 2024 දියවන්නා වෙසක් කලාපය අද (මැයි 25) සන්ධ්‍යාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ බත්තරමුල්ල ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාර්ගය ආවරණය වන පරිදි පැවැත්විණි. පසුගිය දෙදින තුළ වෙසක් කලාපය නැරඹීමට විශාල ජනකායක් පැමිණීම විශේෂත්වයක් විය.

මෙහිදී තෙවන දිනයේ සමාරම්භය සනිටුහන් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වෙසක් කලාපය උත්සවාකාරයෙන් ආලෝකමත් කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර දෙවන ස්ථානය යුද හමුදා යුධෝපකරණ බලකායට හිමිවිය. ශ්‍රි ලංකා ගුවන් හමුදා පාලවි කදවුර තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. සීමාසහිත නෙස්ලේ ලංකා සමාගම ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වීය.

වසරේ වඩාත් විචිත්‍රවත් වෙසක් උත්සවයක අවසන් දිනය අද වන අතර දියවන්නා වෙසක් කලාපය වෙසක් කූඩු සහ විසිතුරු ආලෝකකරණයෙන් විස්මිත සංදර්ශනයකින් සමන්විත වේ.

විසිතුරු පහන් කූඩුවලට අමතරව ශ්‍රී ලංකා යුද, නාවික, ගුවන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම් විසින් පවත්වනු ලබන භක්ති ගී ප්‍රසංගය දියවන්නා වෙසක් කලාපයේ අසිරිය තවත් ඔප්නැංවිය.