විචිත්‍රවත් ‘දියවන්නා වෙසක් කලාපය 2024’ සාර්ථකව අවසන් වේ

මැයි 26, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) සමඟ එක්ව සංවිධානය කරන ලද දියවන්නා වෙසක් කලාපය 2024 මැයි 23 සිට දින තුනක් පුරා පැවති අතර, එය ඊයේ (මැයි 25) සවස අවසන් විය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ITN සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා විසින් ‘දියවන්නා වෙසක් කලාපය 2024’ විවෘත කළ අතර, ආගම් භේදයකින් තොරව අඛණ්ඩව දින තුනක් බැතිමතුන් විශාල පිරිසක් ආකර්ෂණය කරගැනීමට එය සමත් විය.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ බත්තරමුල්ල ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පිවිසෙන මාර්ගය දෙපස ආලෝකවත් කරන විසිතුරු වෙසක් කූඩු සහ වර්ණවත් විදුලි පහන් මෙම සම්භාවනීය අමුත්තන් දෙදෙනා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 23) උත්සවශ්‍රීයෙන් දැල්වූ අතර, දියවන්නා වෙසක් කලාපය ITN නාලිකාවේ සජීවී විකාශනය ද ආරම්භ විය.
 
යුධ, නාවික, ගුවන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගී ප්‍රසංගය දියවන්නා වෙසක් කලාපයේ වැදගත්කම තවත් ඉහළ නංවන ලදි.

උත්සවයේ දෙවන දින වූ මැයි 24 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් වෙසක් කලාපය උත්සවශ්‍රීයෙන් ආලෝකමත් කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් තෙවැනි දින (මැයි 25) වෙසක් කලාපය ආලෝකමත් කරමින් 2024 දියවන්නා වෙසක් කලාපයේ වඩාත්ම නිර්මාණශීලී වෙසක් කූඩු සඳහා මුදල් ත්‍යාගය ප්‍රදානය කළේය.

දීප ව්‍යාප්තව බැතිමතුන්ට දැකබලා ගැනීම සඳහා තෙදිනම වෙසක් කලාපය ITN ඔස්සේ සජීවී විකාශනයක් පවත්වන ලද අතර, 2024 දියවන්නා වෙසක් කලාපයේ වඩාත්ම නිර්මාණශීලී වෙසක් කූඩු සඳහා පිරිනැමෙන ත්‍යාග සඳහා සීමාසහිත නෙස්ලේ ලංකා සමාගම අනුග්‍රහය දැක්වීය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායට හිමිවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර තෙවැනි ස්ථානය දිනාගන්නා ලදි.

“අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච” (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව පෙරදැරිව දියවන්නා වෙසක් කලාපය සන්විධානය කර තිබූ අතර, වෙසක් පහන් කූඩු, දන්සල්, ඔසු පැන් හල්, ආලෝක සැරසිලි, භක්ති ගී ප්‍රසංග හා විවිධ සංස්කෘතික අංගයන්ගෙන් අලංකාර වූ ජංගම වේදිකාවකින් ද වෙසක් කලාපය සමන්විත විය.