යුද හමුදා නත්තල් ආශිර්වාද දේවමෙහෙය සන්නද්ධ හමුදාවන්ට ආසිරි පතයි

දෙසැම්බර් 24, 2020

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිස්තියානි සංගමය  ඊයේ (දෙසැම්බර් 23) දින සවස යුද හමුදා මූලස්ථානයේදී නත්තල් දේවමෙහෙයක් සංවිධානය කළේය.

කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම අවස්ථාවේ මුලසුන හෙබවීය.

මෙහිදී අති උතුම් කාදිනල් රංජිත් හිමිපාණන්, මියගිය රණවිරුවන්, කොවිඩ්-19 ට එරෙහිව සටන්වදින  සියලුම පුද්ගලයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සියලුම ශ්‍රී ලාංකිකයින් සදහා දෙවියන්ගේ ආශිර්වාදය පැතිය.

කොරෝනා වසංගතයට එරෙහි සටන වෙනුවෙන් සහ රටේ සාමය හා සමෘද්ධිය උදෙසා යාඥා කරමින් මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සුවිශේෂ නත්තල් පණිවිඩය ප්‍රකාශකරන ලදී.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දේවමෙහෙය මෙවර සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ වලට අනුව සිදුකරන ලදී.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරන සහ එම මැතිනියන්, යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති සහ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් මෙම අවස්ථාව සදහා සහභාගිවන ලදී.