පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ආපදා කළමනාකරණ ඉදිරි පියවරයන් පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මාධ්‍ය දැනුවත් කරයි

මැයි 27, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් අද (මැයි 27) දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය දින කිහිපයේ ඇතිවූ වර්ෂාව හා තද සුළං නිසා දිස්ත්‍රික්ක 20 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 212 ක පුද්ගලයින් 55406 ක්‌ පීඩාවට ලක් වී ඇති අතර, තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම නිසා මරණ හතක් සිදු වී ඇති බවත්, නිරිත දිග මෝසම් වර්ෂාව සැප්තැම්බර් මාසය වෙනතෙක් පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බවත්, මෙහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම, ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රාජ්‍ය දෙපාර්තමේන්තු, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සහන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් හා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය සැමවිටම සුදානමින් සිටින බවද සදහන් කරන ලදි.

තවද, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොළඹ අධි අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය හා කොළඹ නගර සභාව සමග එක්ව අවදානම් ගස් ඉවත් කිරීමටත්, ගස්වල ඇති අවදානම් අතු ඉවත් කිරීම කටයුතු කිරීමටත්, ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශක ලෙස නගරයට ගැලපෙන හා මාර්ගවලට මෙන්ම ජනතාවට අවහිරයක් නොවන ගස් සිටුවීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබා දුන් බවත්, විහාරමහා දේවි උද්‍යානයේ ඇදවැටී ඇති ගස් වල මුල් පිළිබඳ විද්‍යාත්මක පරීක්‍ෂණ කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ලබාදීමටත් කටයුතු සුදානම් කර ඇති බවද මෙහිදි ප්‍රකාශ කරන ලදි.

තවද, කෑගල්ල පහල කඩුගන්නාව ප්‍රදේශයේ හඳුනාගෙන ඇති ගල් පෙරලිමේ අවදානම් ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්‍ෂණය යටතේ අවශ්‍ය කණ්ඩායම් යොදවා ජනතාවට අවම අපහසුතාවයක් ඇතිවන ආකාරයෙන් එම ස්ථාන වල ගල් ඉවත් කිරීමට කටයුතු සිදුකිරිමටත් කටයුතු කරනු ලබන බවත් ඔහු පැවසීය.

පාසල් ළමුන්ගේ ආරක්‍ෂාව සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත “සුරකිමු” විශේෂ ජාතික වැඩසටහන පිළිබඳ හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් පාලන ආයතන, දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට කටයුතු සිදුකරනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන නිවැරදි තොරතුරු පමණක් ජනතාව වෙත ලබාදෙන මෙන් මෙහිදී මාධ්‍ය වෙතින් විශේෂ ඉල්ලීමක්ද අමාත්‍යවරයා විසින් සිදුකරන ලදි.