තද සුළං සහ මුහුද රළු වීම් පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

මැයි 28, 2024

සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කෙරේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර පැ.කි.මී 60 -70 අතර ඉතා තද සුළං හමනු ඇත.

අද (මැයි 28) තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදේ නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට උපදෙස් දෙයි.

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල (මෙය ගොඩබිම් ප්‍රදේශය සඳහා නොවේ) උසින් මීටර් 2.5 - 3.0 පමණ මුහුදු රළ වැඩි විය හැක. කල්පිටියේ සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස් වීමේ හැකියාවක් පවතී.

මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං අපේක්‍ෂා කළ හැකි බව එහි සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි අපේක්‍ෂා කෙරේ.

මේ අතර, කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 2 මට්ටමේ (ඇම්බර්) නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කළු, ගිං සහ නිල්වලා ගංඟාවල අතු ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යාමක් ද වාර්තා වී ඇත.

මිලිමීටර් 143.3ක උපරිම වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයේ කරගලින් වාර්තා විය.