පවතින මෝසම් වැසි ඉදිරියටත්

මැයි 29, 2024

කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම අනාවැකිවලට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය තවදුරටත් පවතිනු ඇති බව ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් තැනින් තැන මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව ද අපේක්ෂා කරයි.

අද (මැයි 29) උදෑසන නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50-60 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ත් 3.5ත් පමණ උසින් යුක්ත වන අතර ඒ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ. එම නිසා කල්පිටියේ සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ හේතුවෙන් සුළු මුහුදු ගොඩගැලීම් ඇතිවීමේ හැකියාවක් පවතී.

පවතින අධික වර්ෂාවත් සමඟ කළු, ගිං සහ නිල්වලා ගංඟාවල මෙන්ම අතු ගංගා කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ බලධාරීන් අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සහන කණ්ඩායම් මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සඳහා සීරුවෙන් තබා ඇත.

මේ අතර, දක්ෂිණ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කිමිදුම්කරුවන් සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ සාමාජිකයින් පිරිසක් විසින් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගංවතුරෙන් ගලා ආ සුන්බුන් සිර වීම නිසා ගිං ගඟ හරහා දොඩම්ගොඩ පාලම යට සිදු වී තිබූ අවහිරයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

ගංවතුර හේතුවෙන් සැලකිය යුතු සුන්බුන් ප්‍රමාණයක් පහළට ගෙන යන අතර එම අපද්‍රව්‍ය පාලම් යට සිරවීමෙන් ජලය බැසයාම සීමා කරමින් පහත් බිම් යට වීමේ අවධානමක් ඇති කරයි. එම නිසා පහත්බිම් වල වෙසෙන ජනතාව හදිසි ජලගැලීම් තත්වයන් පිලිබඳ අවධානයෙන් පසු වන ලෙස අනතුරු අඟවා සිටී.