ක්‍රීඩා වෙඩි තැබීමේ යූ ටියුබ් නාලිකාව එළිදැක්වීමේ උත්සවයට
ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

මැයි 30, 2024

‘Scorpion Top Shot’ යූ ටියුබ් නාලිකාව එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (මැයි 29) සහභාගී විය.

එම නාලිකාවේ නිර්මාතෘ ලුතිනන් කර්නල් ජනක රිටිගහපොල (විශ්‍රාමික) විසින් ඊයේ සවස තලවතුගොඩ පිහිටි ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටල් පරිශ්‍රය වෙත පැමිණි ජෙනරල් ගුණරත්න පිළිගන්නා ලදි.

මෙම නාලිකාව අප රටෙහි ක්‍රීඩා වෙඩි තැබීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කර ඇත.

කෙටි දේශනයක් කරමින් ජෙනරල් ගුණරත්න, හිටපු වෙඩි තැබීමේ ශූරයකු වන ලුතිනන් කර්නල් රිටිගහපොළ (විශ්‍රාමික) වෙත මෙම ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට මුලපිරීම වෙනුවෙන් හා මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කිරීම වෙනුවෙන් සුභාසිංසන එක් කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළු පිරිසක් ද මෙම එළිදැක්වීමේ උත්සවයට එක්ව සිටියහ.