ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සාමාජිකයින් 25 දෙනෙකු
ජපානයේදී තෙල් කාන්දුවීම් කළමනාකරණ උපදේශකවරුන් ලෙස සුදුසුකම් ලබයි

මැයි 31, 2024

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා ජපානයේ යොකොසුකා හි සමුද්‍ර ආපදා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පැවති තෙල් කාන්දුවීම් කළමනාකරණය පිළිබඳ උසස් පුහුණු වැඩසටහනක් හදාරා සාර්ථකව නිම කරන ලදි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා මාධ්‍යවලට අනුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ තෙල් දූෂණය පිළිබඳ සූදානම, ප්‍රතිචාරය සහ සහයෝගිතා මට්ටම 1 පිළිබඳ ආදර්ශ පාඨමාලාවට පදනම්ව, නිලධාරීන් 16 දෙනෙකු සහ නාවිකයින් 09 දෙනෙකු ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් මෙහෙයවීමෙන් ජපාන වෙරළාරක්‍ෂක බලකාය සහ ජපානයේ යොකොසුකා හි සමුද්‍ර ආපදා වැළැක්වීමේ මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් පවත්වන ලද විශේෂ පුහුණුවක් ලබා ගන්නා ලදි.

මෙම පුහුණුවට අමතරව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන සහ පුහුණු අධ්‍යක්‍ෂ කපිතාන් චරිත ගුණවන්ත ද මෙම පුහුණු සැසියට සහභාගී වී ඇති අතර, ජපාන වෙරළාරක්‍ෂක බලකායේ අණදෙන නිලධාරී Ishii Shohei සමඟද සුහද සාකච්ඡාවක් පවත්වා ඇති බව එහි සඳහන් වේ.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු මෙම සාමාජිකයින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ තෙල් කාන්දුවීම් කළමනාකරණ උපදේශකවරුන් ලෙස නිල වශයෙන් පිළිගැනෙන අතර, රට තුළ සහ කලාපය තුළ ද දැනුම හුවමාරු කර ගැනීමට හැකි වනු ඇති බවද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා මාධ්‍ය පවසයි.