රට වෙනුවෙන් දිවිපුද කල වීරෝධාර රණවිරන්ගේ පවුල්වල සමාජිකයින්ගේ හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ වැඩසටහන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්

ජුනි 01, 2024
  •   “අප මාතෘ භුමියේ නිදහස වෙනුවෙන්, මේ රටේ සාමය වෙනුවෙන් ජිවිත පුද කල, සටන් වැද තුවාල ලැබූ රණවිරුවන් මෙන්ම ඒ් අයගේ පවුල්වල සාමාජිකයින් අපගේ මතකයේ හැමදාම රැදී ඉන්නවා, ඔවුන් කරපු උත්තරීතර කැප කීරීමට අපි හිස නමා ආචාර කරමු”.

විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් දීපව්‍යාප්තව සංවිධානය කරනු වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (ජුනි 01), ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම පිහිටි ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල - දියතලාව කඳවුරේදී පැවැත්වුණු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි වෙමින් මෙසේ ප්‍රකාශ කරන ලදි.

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ විසින් මෙම උත්සවයට සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබූ අතර, යුද්ධ හමුදා මූලස්ථානය විසින් විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩල 07 ක් යටතේ උපකාරක සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබිණ.

අපගේ සංස්කෘතිය තුල අප දරුවන් ඇති දැඩි කරන්නේ ඉමහත් සෙනෙහසකින් එවන් වාතාවරණයක් මත යුධගිනි ඇවිලී තිබූ සමයේ වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ අපරිමිත කැපකිරීම් මෙන්ම, මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදුකල උත්තරීතර මෙහෙය පිළිබඳව හා රාජකාරි කටයුතුවලදීත්, ඉන් පිටතදීත් ත්‍රිවිධ හමුදාවෙන් සිදුකෙරෙන ඉමහත් සේවය මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැසසුමට ලක් කරන ලදි.

රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මෙන්ම දිවිපුද කල රණවිරුවන්ගේ පවුල් වෙත අපහසුතාවයකින් තොරව ප්‍රමුඛත්වය මත එම සේවාවන් ලබාගැනීමට කල යුතු ඉදිරි පියවරයන් සම්බන්ධව සෞඛ්‍ය කටයුතු අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා සමග සාකච්ඡා කල බවත්, රාජ්‍ය බැංකු ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන වෙතින්, සේවාවන් ලබාගැනීමේදී සඳහා ප්‍රමුඛත්වය මත සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, සේවයේ සිටින හා විශ්‍රාමික රණවිරුවන් හට සහනදායි පොලී ශේෂයක් යටතේ ණය ලබාගැනීමට හැකි වන පරිදි ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා ලංකා බැංකු සභාපතිවරයා සමග මේ වන විටත් සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටින ලදි.

මීට අමතරව, රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ 'උරුමය' වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය මත ඉඩම් ලබාදීම වන කැබිනට් පත්‍රිකාවක් අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල බවත්, ඉදිරියේදී ප්‍රාදේශීය කාර්යාල හරහා රණවිරුවන්ට හා දිවිදුන් රණවිරුවන්ගේ ලඟම ඥාතීන් හට එම සේවාවන් ලබාගැනීමට හැකිවන බවද අමාත්‍ය වරයා සඳහන් කරන ලදි.

තවද, රජය විසින් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර හැරීමේදී විශ්‍රාමික රණවිරුවන් වෙත හා රණවිරු පවුල්වල සාමාජිකයින් හට යම් රැකියා ප්‍රමාණයක් ලබාගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති බව පැමිණ සිටි පිරිස අමතමින් අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව සලසා දෙන ලදි.

බදුල්ල සහ මොණරාගල ප්‍රදේශ අතිරේක දිසාපති වරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.