ආපදාවට පත්ව සිටි ධීවරයින් හය දෙනෙකු මුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සුරක්‍ෂිතව ගොඩබිමට රැගෙන එයි

ජුනි 03, 2024

ඉන්දියන් සාගරයේ දකුණු කලාපයේ ආපදාවට ලක්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් මගින් පසුගිය ඉරිදා (ජුනි 02) සාර්ථකව ගොඩබිමට රැගෙන එනු ලැබීය. ආපදාවට ලක් වන අවස්ථාවේ දෙවුන්දරට දකුණින් නාවික සැතපුම් 480 (කිලෝමීටර් 889) පමණ දුරින් යාත්‍රා කල MT Tonegawa නම් වෙළඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මගින් මුලින්ම මෙම ධීවරයින් මුදා ගෙන ඉන් අනතරුව නාවික හමුදාව වෙත භාර දී ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

නාවික හමුදා මාධ්‍ය මූලාශ්‍රවලට අනුව කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, MT Tonegawa නෞකාව සමඟ සමීපව සම්බන්ධතා පවත්වා ගනිමින් අනතුරට ලක්ව තිබු ට්‍රෝලර් යාත්‍රාව සොයාගෙන ඇති අතර පසුගිය මැයි 31 වන දින එම ධීවරයින් හය දෙනාම බේරාගෙන ඇත.

අනතුරුව, පසුගිය ජුනි 02 වන දින එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මගින් ධීවරයින් ගාලු වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන ආ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් එම ධීවරයින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.