ශ්‍රී ලංකා යුද හමුදා සහ නාවික හමුදා භට පිරිස් ආපදා සහන සහ ගලවා ගැනීමේ
මෙහෙයුම් සිදුකරයි

ජුනි 03, 2024

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ නාවික හමුදාව ගලවා ගැනීමේ සහ ආපදා සහන සැලසීමේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

අයගම (කිරිඇල්ල), ගලුතුරු ඔය (කිරිඇල්ල), දෙහිඕවිට (තල්දූව), මොරවක, තවලම, තිහගොඩ, නෙළුව, බද්දේගම සහ දිවිතුරාව යන ප්‍රදේශවල යුද හමුදා සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව යුද හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ යන ප්‍රදේශත් මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, පානතුගම සහ කඹුරුපිටිය යන ප්‍රදේශද, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න යන ප්‍රදේශ හා කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, කොලොන්නාව  යන ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පුවක්පිටිය යන ප්‍රදේශ වලටත්, නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායම් 33ක් යොදවා ඇති බව නාවික හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.

ගංවතුරින් විපතට පත් පුද්ගලයින් ආරක්ෂිතව බේරා ගැනීමට සහ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට නාවික හමුදාව සතු කුඩා බෝට්ටු යොදා ගනිමින් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්, තවත් කණ්ඩායම් 60ක් ආපදා සහන කටයුතු සදහා සීරුවෙන් තබා ඇති බවත්, අද (ජුනි 03) වන විට නාවික හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයින් 36 දෙනෙකු මුදාගෙන ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ කළේය.

තවද, ප්‍රදේශ කිහිපයක සිදුවෙමින් පවතින ගලවා ගැනීමේ සහ ආපදා සහන කටයුතු වලට සහාය වීම සඳහා යුධ හමුදාව සතු යුනිකෝන් රථ සහ WMZ රථ කිහිපයක් මේවන විට යොදවා ඇත.

මේවන විට අකුරැස්ස, මාලිම්බඩ, නෙළුව සහ සාලාව යන ප්‍රදේශවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා පිසූ ආහාරපාන ලබාදීමට යුද හමුදා භට පිරිස් විසින් ආහාර පිසීමේ ස්ථාන ස්ථාපිත කර ඇති බවත්, විපතට පත් ප්‍රදේශවල ආපදා සහන මෙහෙයුම් සිදුකරන අතරම පිරිසිදු පානීය ජලය සැපයීමට සහ විදුලිබල හා සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත් කිරීමටද ඔවුන් කටයුතු කර ඇති බවද යුද හමුදාව පවසයි.