අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ජුනි 04, 2024

දැනට ලැබී ඇති සංඛ්‍යාලේඛන වලට අනුව, පසුගිය දින වල පැවති ආපදා තත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33422කට අයත් පුද්ගලයන් 130021 කට අධික ප්‍රමාණයක් ආපදාවට ලක්ව, පුද්ගල මරණ 26ක් සහ තුවාල ලැබීම් 41ක් වාර්තා වී ඇති බවත්, ඇතැම් ප්‍රදේශ වල දැනටත් පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් අද දින උදැසන වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 116ක් තුල පවුල් 2368ක පුද්ගලයන් 9248ක් රඳවා සිටින බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා අද (ජුනි 04) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ප්‍රකාශ කරන ලදී.

තවද, ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් මෙන්ම ග්‍රාමීය කමිටු ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන සහන කණ්ඩායම් සාමාජිකයන් ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඔවුන්ගේ එම කැපවීම සහ සේවය අගය කල යුතු බවත් පවසා සිටින ලදී.

සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම මේ වනවිටත් සිදු කොට ඇත.

දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කරනු ලබන ඉල්ලීම් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති පැය 24 පුරාම ක්‍රියාත්මක 117 හදිසි ඇමතුම් අංකයට ලැබෙන ඇමතුම් වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු මේ වන විටත් සිදු කරනු ලබනවා.
 
ඉදිරියේදී ද, ආපදා සහන කටයුතු සහ ගලවාගැනීමේ මෙහෙයුම් සදහා බෝට්ටු, යුනිකෝන් රථ, WMZ  රථ ඇතුළු අවශ්‍ය කරන සෑම දෙයක්ම ඕනෑම මොහොතක ලබාදීමට කටයුතු සිදුකරන බවත් සභාව අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
 
එමෙන්ම, රත්නපුර ඇතුළු හඳුනාගත් ප්‍රදේශ වල ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානම් අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සැලසුම් මේ වනවිටත් හඳුනාගෙන ඇති නමුත්, පවතින ආර්ථික අර්බුදය මෙන්ම විවිධ දේශපාලනික හේතුන් සහ පරිසර සංවිධාන වල මැදිහත්වීම් නිසාවෙන් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම පසුබෑමට ලක් වී ඇති බවත්, මේ සඳහා ස්ථිරසාර විසදුමක් ලබාදීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිය කථා වාරයේදී අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ පවතින ආර්ථික අර්බුද හමුවේ මුල්‍ය ප්‍රතිපාදන වල අඩු ලුහුඬුකම් නිසාවෙන් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු තාක්ෂණික මෙවලම් වල දුර්වලතා පැවතියද, අප සතු සම්පත් උපරිමයෙන් භාවිතා කරමින් වඩා නිරවද්‍ය කාලගුණ වාර්තා නිකුත් කිරීමට මෙන්ම නව්‍යකරණ ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.