ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මුලපිරිමෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට සහ රණවිරු පවුල්වල සාමාජිකයින් හට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ වේ

ජුනි 05, 2024

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර අමාත්‍යතුමා සමග සිදුකල සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා රණවිරු පවුල්වල සාමාජිකයින් වෙත විදේශ රැකියා ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන පිලිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූනි 04) එතුමාගේ කාර්යාලයේදී රැස්වීමක් පවත්වන ලදි.

විදේශ රාජ්‍යයන් වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් යම් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙහි පළමු අදියර ලෙස ඊශ්‍රායල් රාජ්‍යය වෙත ඉදිකිරිම් අංශයේ වෘත්තීන් කිහිපයක් වෙත මෙම රැකියා ප්‍රමාණය ලබාදීමට කටයුතු සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නියෝජිතයින් විසින් මෙම රැස්වීමේදී ප්‍රකාශ කරන ලදි.

එසේම, මෙලෙස විදේශගතවන්නන් හට රජයේ බැංකු හරහා සහනදායී පොලී ශේෂයක් යටතේ ණය පහසුකම් ලබාදීමට ද, කටයුතු සුදානම් කරන බවත්, යුද හමුදාව වෙතින් මේවන විට 67 දෙනෙකු මෙම රැකියා සඳහා පිටත් කිරීමට හඳුනාගෙන ඇති බවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙතින් ද නාමයෝජනා ඉදිරිපත් කරන ලෙසද, පැමිණි සිටි හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.

තවද, මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා වයස අවුරුදු 44 ට අඩු සාමාජිකයින් තෝරා ගනු ලබන අතර, ඒ අයවලුන් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හරහා කෙටි පුහුණුවක් ලබාදීමටත්, ඔවුන් විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණයකට මුහුණ දීමටත් සිදුවන බවත් දන්වා සිටින ලදි.

මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.