ආපදා සහන කටයුතු සදහා එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය ආයතන වෙතින් හා
රාජ්‍ය නොවන සංවිධාන වෙතින් සහයෝගය ලබා ගැනිමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා එම සංවිධාන සමඟ සාකච්ඡා කරයි

ජුනි 05, 2024

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ගලවා ගැනීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සමඟ අද (ජුනි 05) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවක් පැවැත්වීය.

ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන සහන මෙහෙයුම්වල ප්‍රගතිය සහ කාලගුණයේ නවතම තත්ත්වය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍යය නොවන සංවිධානවල නිලධාරීන් දැනුවත් කරන ලදි.

ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ  රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දෙන ආධාර සහ සහයෝගීතාවය ඉතා අගය කළ ඔහු මෙම ව්‍යසනයෙන් විපතට පත් වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවත් එම කටයුතු සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදි.

ගංවතුරින් හානියට පත් වූ පාසල් පිළිසකර කර ගැනීමටත් හානි වූ නිවාස අලුත්වැඩියා කර ගැනිමටත්, සුරක්ෂිත මධ්‍යස්ථාන වල රැකවරණය ලබන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහයත් ලබා දෙන ලෙස ඔහු විශේෂයෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් මේ සම්බන්ධයෙන් සියලු සහාය ලබාදීමටද කැමැත්ත පළ කළහ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ යුනිසෙෆ්, ලෝක සෞඛ්‍ය සංවිධානය, රතු කුරුස සංවිධානය, වර්ල්ඩ් විෂන් ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.