ආපදාවට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ
රාජ්‍ය නිළධාරින් සමඟ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කෙරේ

ජුනි 05, 2024

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උද්ගත වූ අයහපත් කාලගුණික තත්වයේ බලපෑමෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි පියවරයන් සබැඳිව සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (ජූනි 05) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මේ සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු රාජිකා වික්‍රමසිංහ මැතිනිය ද සහභාගි විය.  

මේ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන වල ආහාරපාන ලබාදීම සඳහා මෙන්ම ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් එක්තැන් වී ආහාරපාන ලබා ගැනීමට නොහැකිව සිටින පිරිස් වෙත වියළි සලාක ලබාදීම වෙනුවෙන් රජය විසින් අනුමත කරන ලද 33% කින් ඉහල නැංවූ දෛනික වියදම කඩිනමින් සහ ක්‍රමවත්ව ලබාදීමටත් සුරක්ෂිත මධ්‍යස්ථාන වල පවතින සනීපාරක්ෂාව ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.

මීට අමතරව සුරක්ෂිත මධ්‍යස්ථාන වල තාවකාලිකව සිටින පිරිස් වෙත ලබා දෙන ආහාර වල පෝෂණ තත්වය පිළිබඳවද විමසීමක් සිදුකල අතර, ප්‍රධාන ආහාර වේල් වලට අමතරව තේ වේල් දෙකක් සහ එහි සිටින කුඩා දරුවන්ට කිරි තේ වේල් දෙකක් ලබාදීමට ද උපදෙස් දෙනු ලැබීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති පැය 24 පුරාම ක්‍රියාත්මක 117 හදිසි ඇමතුම් අංකයට ලැබෙන ඇමතුම් වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව මේ වන විටත් සිදුකරනු ලබන අතර, ඒ අනුව ඕනෑම හදිසි තත්ත්වයක් සම්බන්ධයෙන් ඉහත අංකය ඔස්සේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අවශ්‍ය සහාය ලබා ගැනීමට හැකියාව පවතින බව ජනතාව වෙත දැනුම් දී සිටී.

ආපදාවට ලක් වූ ප්‍රදේශ වල ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් පාලන ආයතන වල ලේකම්වරු සහ නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළුව ආපදා කළමනාකරණය සදහා සක්‍රීයව සම්බන්ධව සිටින නිලධාරීන් පිරිසක් සහභාගී විය.