ආසියානු කලාපීය රසායනික අවි සම්මුතිය හා සම්බන්ධ රාජ්‍යයන්හි ජාතික අධිකාරීන්වල නිලධාරින්ගේ 22 වැනි කලාපීය සමුළුව පැවැත්වේ

ජුනි 06, 2024

ආසියානු කලාපීය රසායනික අවි සම්මුතිය හා සම්බන්ධ රාජ්‍යයන්හි ජාතික අධිකාරීන්වල නිලධාරින්ගේ 22 වැනි කලාපීය සමුළුව 2024 මැයි මස 29 සිට 31 දින දක්වා උස්බෙකිස්තානයේදී පැවැත්වුණු අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් (ආචාර්ය) රවී රණසිංහ සහභාගී විය.

සාමාජික රටවල පිහිටුවා ඇති රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ජාතික අධිකාරීන්වල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම කලාපිය සමුළුව හරහා ජාතික, කලාපීය මෙන්ම උප කලාපීය මට්ටමින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවශ්‍යතාවයන්, ප්‍රමුඛතාවයන්, දැනට ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාමාර්ග සහ වඩා යෝග්‍ය ප්‍රයෝගික භාවිතයන් පිලිබඳ සාකච්ඡා කිරීම සහ අදහස් හුවමාරු කරගැනීම සඳහා ප්‍රබල වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබයි. රසායනික අවි තහනම් කිරීමේ ගෝලීය සංවිධානයේ වැඩසටහන් රාමුව තුළ සපයනු ලබන ධාරිතා-සංවර්ධන සහාය ඔස්සේ, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමට ආසියානු කලාපීය සාමාජික රටවල් අතර අවශ්‍ය කෙරෙන අන්‍යොන්‍ය සහයෝගිතාවය ශක්තිමත් කිරීම සඳහා ලැබෙන දායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළහ.

වැඩසටහන අතරතුර, ශ්‍රී ලංකා රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා විසින් “උපලේඛනගත රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුල නීතිවිරෝධී ලෙස හුවමාරු වීම වැළැක්වීම” යන මාතෘකාව යටතේ තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර එහිදී ආසියානු කලාපයේ විෂයානුබද්ධ ප්‍රවීණයන් හා විශේෂඥයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් සඳහා ද ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලදී.