ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර 1000ක්
මේ වන විට සාර්ථකව ස්ථාපනය කරයි

ජුනි 06, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ඉතා වැදගත් සමාජ සත්කාරයක් වන නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන (RO plant) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයකට ළඟා වෙමින් ඊයේ (ජුනි 05) ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ 1000 වැනි ජල පිරිපහදු යන්ත්‍රය සාර්ථකව ස්ථාපනය කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය ආධාර මත නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර ස්ථාපනය කරන ලද නව පහසුකම නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ආචාර්ය චමීර සී යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

2015 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩවත් රඹෑව ප්‍රදේශයේ සිය ප්‍රථම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු ඒකකය ස්ථාපනය කරන ලද අතර මෙම ජල පිරිපහදු ඒකක නිෂ්පාදන ක්‍රියාවලිය නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිදු කරයි.

උතුරු පළාතේ 161ක්, උතුරු මැද පළාතේ 340ක්, වයඹ පළාතේ 149ක්, මධ්‍යම පළාතේ 54ක්, බස්නාහිර පළාතේ 10ක්, සබරගමුව පළාතේ 13ක්, දකුණු පළාතේ 22ක්, ඌව පළාතේ 155ක් සහ නැගෙනහිර පළාතේ 92ක් වශයෙන් ජල පිරිපහදු ඒකක නාවික හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රධාන යාත්‍රාවල ජල පිරිපහදු ඒකක 4ක් ස්ථාපිත කර ඇති බවද එහි සඳහන් වේ.

පිරිසිදු පානීය ජලය නොමැතිකම හේතුවෙන් නිදන්ගත වකුගඩු රෝග බහුලව පවතින ප්‍රදේශවල මෙම ජල පිරිපහදු ඒකක විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

එමෙන්ම, වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා අවශ්‍ය වන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර නිර්මාණය කිරීම නාවික හමුදාව විසින් 2017 වර්ෂයේ අරඹන ලද අතර, මේ වන විට රජයේ රෝහල් 25ක වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර 26ක ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රට පුරා සිදු කරන පිරිසිදු පානීය ජල පිරිපහදු ඒකක ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ සහයෝගයෙන් මෙම කටයුතු සාර්ථකව සිදු කරනු ලබයි.