ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙයි

ජුනි 07, 2024

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය විසින් මෙම වසරේදී (2024) ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා තිබේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අතිගරු කලිඩ් හමඩ් අල්කතානි මැතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ලබා ගැනීමට හැකි විය.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කල මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණි.

ත්‍රිවිධ හමුදා මුස්ලිම් සාමාජිකයින් සඳහා විශේෂ අනුග්‍රහයක් සහිත අවස්ථා පහක් මේ වසරේදී ලබා දී තිබීම සුවිශේෂී කරුණකි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා අද (ජුනි 07) දින උදෑසන කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේදී තානාපති අතිගරු අල්කතානි මහතා හමු වූ අවස්ථාවේ දී ත්‍රිවිධ හමුදාවේ මුස්ලිම් සාමාජිකයින්ට තම ජීවිත කාලයටම එක් වරක් ලැබෙන මෙම මහඟු අවස්ථාව ලබා දීම සඳහා දැක්වූ උදාර සහයෝගය වෙනුවෙන් සිය කෘතඥපූර්වක ස්තූතිය පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් උදාර චේතනා පෙරදැරිව සිදු කල මෙම ඉල්ලීම පිළිබඳව ස්තුති කළ සෞදි අරාබි තානාපතිවරයා එළඹෙන වසරවලදී ආරක්‍ෂක සේවා නිලධාරීන් සඳහා ලැබෙන අවස්ථා සංඛ්‍යාව ඉහළ නැංවීමට තමා පෞද්ගලිකවම මැදිහත් වන බව තවදුරටත් පැවසීය.

ඉතිහාසයේ නව පියවරක් තබමින් එතුමා කියා සිටියේ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා නිලධාරීන් හට ඉදිරියේදී ‘උම්රා’ වන්දනාවේ යෙදීමට ද අවස්ථාව සැලසීමට කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට සහය වීමට සෞදි අරාබි රජය කැපවී සිටින බවත්, මේ සම්බන්ධයෙන් මෙරට නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා හජ් කමිටු සාමාජික මිල්ෆර් ගෆූර් මහතා සහ ප්‍රතිලාභී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.