“2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය: ඉදිරි දැක්ම සහ අවදානම් ඇගයීම” තේමාව යටතේ පවත්වනු ලැබූ වට මේස සාකච්ඡාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස
ආරක්‍ෂක ලේකම් සහභාගී වෙයි

ජුනි 07, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ, ගිවිසුම්ගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් වසරකට පසු ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ ඇගයීම සඳහා සංවෘත වට මේස සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 06) පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් විසින් සාකච්ඡාවට සහභාගි වූ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

2024 මාර්තු 21 දින, IMF කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය විසින් IMF වැඩසටහනේ දෙවන අදියර සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා විධායක මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කරන ලදි. ඒ අනුව එළැඹි ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කර ඇති පසුබිමක මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් මූල්‍යමය වාරිකයක් විවෘත කිරීමේ හැකියාව ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය, දැනට රටේ පවතින තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානය හඳුනා ගනිමින්, මෙම සංවෘත වට මේස සාකච්ඡාව පැවැත්වීම සඳහා කටයුතු කරන තිබිණ. 2022 වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථික ආරක්‍ෂාව සහ ඉදිරි දැක්ම විකාශනය වී ඇති ආකාරය පිළිබඳ තක්සේරු කිරීම, මැතිවරණ වර්ෂයක් ලෙස 2024 වසරේ දී රට මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳ විශ්ලේෂණය කිරීම, ජාතික ආර්ථික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සහ ශක්තිමත්, සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

එක්සත් රාජධානියේ ODI Global හි ජ්‍යෙෂ්ඨ ආරාධිත සාමාජික සහ ශ්‍රී ලංකාවේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ හිටපු විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය හේරත් ගුණතිලක යන මහත්වරුන් සම්භාවනීය කථික මණ්ඩලය ලෙස සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ගාමිණී මහගමගේ මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතා, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ආරක්‍ෂක  අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, ආර්ථික විශේෂංඥයින්, විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.