ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ගංවතුරින් විපතට පත්
අමාත්‍යාංශ සේවකයන් වෙත මුල්‍ය ආධාර ලබාදෙයි

ජුනි 12, 2024

පසුගිය දින වල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා ඇති වූ ගංවතුරෙන් විපතට පත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහයක් වීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය ඔවුන් වෙත මූල්‍ය දායකත්වයක් ලබා දුන්නේය.  

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද (ජුනි 12) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකදී ගංවතුරින් විපතට පත් අමාත්‍යාංශ සේවකයින් කිහිප දෙනෙකුට සංකේතාත්මකව මුල්‍ය ආධාර පිරිනැමීම සිදුකරනු ලැබිය. ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සුබසාධනය වෙනුවෙන් මෙම කර්තව්‍යය සිදුකරනු ලැබිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.