ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් සන්නද්ධ හමුදාවන් වෙත උපකරණ පරිත්‍යාගයක්

ජුනි 13, 2024

ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් එක්සත් ජනපද රජයේ අනුග්‍රහය යටතේ මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වෙත පසුගිය බදාදා (ජුනි 12) දින තාක්ෂණික උපකරණ තොගයක් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි චන්ග් මැතිනියගේ හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ මුලිකත්වයෙන් මෙම උපකරණ ලබා දීම සිදු කෙරිණ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වටිනා මෙම උපකරණ, ත්‍රිවිධ හමුදාව වෙත ප්‍රදානය කිරීමට අදාළ නිල ලේඛන අත්සන් කිරීම සහ භාර ගැනීම කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලික කඳවුරේ අංක 2 ගුවන් යානා බලඝනයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව සිදු කල බව මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

තවද ගුවන් හමුදාව වෙත ලබා දීමට නියමිත භාණ්ඩ අතර ගුවන් සචල්‍යතා උපකරණ මෙන්ම අංක 02 සහ අංක 03 බලඝන වල භාවිතා වන C-130 සහ Beechcraft 360 ER ගුවන් යානා සඳහා අවශ්‍ය අමතර කොටස් ද ඇතුළත් වන අතර එම භාණ්ඩ නුදුරේදීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Anthony Nelson, ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී Commander Sean Jin, ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Major Elizabeth Hewett, අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූ බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.