“2024 වසර තුල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය - ඉදිරි දැක්ම සහ අවදානම් ඇගයීම” තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක්

ජුනි 13, 2024

“2024 වසර තුල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය - ඉදිරි දැක්ම සහ අවදානම් ඇගයීම” යන තේමාව යටතේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිලිබඳ ඇගයීම සඳහා වන සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 06) සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් විසින් මෙහිදී සාකච්ඡාව සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත සහ ක්‍රියාත්මක වෙන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය, ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන අතර, දැනට රටේ පවතින තීරණාත්මක ආර්ථික සංදිස්ථානය හඳුනාගනිමින්, ඒ පිලිබඳ කතිකාවතක් වෙනුවෙන් ඉඩ සැලසීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණ.

Gateway House (ඉන්දියානු කවුන්සිල සබඳතා) ආයතනයේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර පිළිබඳ මහාචාර්ය සභික සහ එක්සත් රාජධානියේ ODI Global හි ජ්‍යෙෂ්ඨ ආරාධිත සාමාජික ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබීය. සම්භාවනීය ආරාධිත දේශකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය හේරත් ගුණතිලක මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

ආචාර්ය විග්නරාජා ගේ විදර්ශනාත්මක හැඳින්වීමකින් අනතුරුව, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික දැක්ම සහ ප්‍රධාන කරුණු විමර්ශනය කරමින්  සිදුකල විග්‍රහයකින් සාකච්ඡාව ආරම්භ කරන ලදී. ඔහුගේ දේශනය තුල අප රට තුල ඇති වූ අතීත සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝග ඔස්සේ මෙරට සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, විනිමය අනුපාත සහ උද්ධමනය කෙරෙහි ඇති වූ බලපෑම පිළිබඳව පැහැදිලි කළේය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න විසින් සිදුකල දේශනයේදී ඉහත ඉස්මතු කල සාධක ඔස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වයස්ගත ජනගහනය වැඩිවීම, බුද්ධිගලනය සහ නිපුණතා සංක්‍රමණය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, සම්පත් විෂමතා සහ වෘත්තීය සංවිධාන නියාමනය වැනි මධ්‍ය කාලීන අභියෝග පිළිබඳ ඉස්මතු කරමින් ඒවා පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

අනතුරුව දේශනය සිදුකල ආචාර්ය හේරත් ගුණතිලක, ‘සමෘද්ධි’ වැඩසටහනට විකල්පයක් ලෙස හඳුන්වාදී තිබෙන ‘අස්වැසුම’ වැඩසටහන සහ දරිද්‍රතා දර්ශකයක් ලෙස පුද්ගල විදුලි පරිභෝජනය හුවාදක්වමින් රටේ ආර්ථික අර්බුද හේතුවෙන් රටක් ලෙස හා පුද්ගල වශයෙන් ඇති වන දරිද්‍රතාවය පිළිබඳව සාකච්ඡා කළේය. ප්‍රශ්නෝත්තර අවස්ථාවේදී, පැමිණ සිටි සභිකයන් ඉතා උනන්දුවෙන් ඔවුන්ට තිබු විෂයානුබද්ධ ගැටළු ඉදිරිපත් කල අතර, කථිකයන් විසින් සත්‍ය තත්වය විශ්ලේෂණය කරමින් සහ වර්තමාන මෙන්ම අනාගත ප්‍රායෝගික ගැටළු විචක්‍ෂණශීලීව ඉදිරිපත් කරමින් එම ගැටළු සඳහා ප්‍රතිචාර දැක්වූහ. ජාතික ආර්ථික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සහ ශක්තිමත්, සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් පිලිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, අතිරේක ලේකම් (පරිපාලන) ගාමිණී මහගමගේ මහතා, අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතා, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, ආර්ථික විද්‍යාඥයින්, විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.