මෙරට බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා ප්‍රවාහනය කල රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131 ක පමණ තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ජුනි 18, 2024

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ (කිලෝමීටර් 700 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරාය‍ට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම යාත්‍රාවේ සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ සඟවා තිබූ රුපියල් මිලියන 3250 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 131 ග්‍රෑම් 754 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම 2024 ජුනි මස 15 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම‍ උදෙසා සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නිරන්තරව සිදු කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ (කිලෝමීටර් 700 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු, එම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් හය දෙනෙකු (06) සමඟ 2024 ජුනි මස 06 වන දින අත්අඩංගුවට ගෙන, වැඩිදුර පරීක්ෂාව සඳහා 2024 ජුනි මස 14 වන දින ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

2024 ජුනි මස 15 වන දින නාවික හමුදාව විසින් ධීවර යාත්‍රාවේ සිදු කල වැඩිදුර පරීක්ෂාවේදී, එම ධීවර යාත්‍රාවේ ඉදිරිපස කොටසේ සූක්ෂම ලෙස සකස් කල කුටීර තුළ පාර්සල් 130 ක් වශයෙන් සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 131 ග්‍රෑම් 754 ක පමණ තොගයක් සොයා ගැනීමට සමත් විය.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3250 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 43 ත් අත‍ර වන දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත, 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 13210 කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.

තවද, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි.

අනුග්‍රාහය - www.navy.lk