“සඳහිරු මහා සෑ පොසොන් කලාපය‍” එළඹෙන පොසොන් පොහෝ දින
අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ දී

ජුනි 18, 2024
  • “සඳහිරු මහා සෑ පොසොන් කලාපය‍” එළඹෙන පොසොන් පොහෝ දින අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ දී

මෙවර පොසොන් පොහොය නිමිති කොට ගෙන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයෙන් හා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් යුතුව පැවැත්වීමට නියමිත 'සඳහිරු මහා සෑ පොසොන් කලාපය' ජුනි මස 21 වන ‍පොසොන් පොහෝ දින සන්ධ්‍යාවේ අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සුරතින් විවෘත කෙරෙන අතර, මෙම පොසොන් කලාපය ජුනි මස 30 වන දින දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබන මෙම පොසොන් කලාපය අනුරාධපුර සඳහිරු සෑය අවට පූජා භුමිය දර්ශනීය තොරණ සහ පහන් කූඩුවලින් ආලෝකවත් කෙරෙන අතර, සුවහසක් බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන පොසොන් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා ජනතාව වෙත මින් අවස්ථාව සැලසෙනු ඇත.

සඳහිරු මහා සෑ පොසොන් කලාපය වෙත පැමිණෙන සුවහසක් බෞද්ධ ජනතාවට දීඝවාපී ස්ථූපයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කිරීමේ මහඟු අවස්ථාව ද මෙම පරිශ්‍රය තුල සලසා තිබීම සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සුවිශේෂී ලක්ෂණයක් වේ. පොසොන් පොහෝ දින උදෑසන 07.45 ට පමණ මෙම පූජනීය වස්තූන් සඳහිරු සෑය වටා පෙරහැරකින් වැඩම කරවා එහි බුද්ධ මන්දිරයෙහි ඉදිකර ඇති රන්සිවිගෙය තුල තැන්පත් කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මෙදින සඳහිරු සෑය පරිශ්‍රයේ සංවිධානය කරනු ලබන විචිත්‍රවත් වැඩසටහන් අතර සඳහිරු මහා සෑය, වංකගිරිය සහ පොසොන් කූඩු ආලෝකමත් කිරීම ප්‍රමුඛ වන අතර, පොසොන් කලාපය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සවස 05.40 සිට බත් දන්සල ද විවෘත කිරීමට නියමිතය.

පොසොන් පොහෝ දින සඳහිරු සෑය ආලෝකමත් කිරීම, ආරක්‍ෂක ලේකම්වරයාගේ සුරතින් පස්වරු 06.30 ට සිදුකෙරෙන අතර, අනතුරුව එම පරිශ්‍රයේ ඉදි කෙරෙන දර්ශනීය තොරණ ද ආලෝකමත් කරනු ලබයි.

සාම්ප්‍රදායික කලා ශිල්පයේ විශිෂ්ඨත්වය විදහා දැක්වෙන අයුරින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව නිර්මාණය කරන ලද අලංකෘත පහන් කූඩු මෙන්ම, අනෙකුත් නිර්මාණයන්ගෙන් හැඩ වන සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ විස්මිත දැකුම්කළු දර්ශන වලින් මුළු ප්‍රදේශයම ඒකාලෝක වනු ඇත. ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් විසින් පවත්වනු ලබන පොසොන් බොදු බැති ගී සහ සංස්කෘතික ප්‍රසංගයෙන් පොසොන් කලාපයට විවිධත්වයක් මෙන්ම අලංකාරයක් ද එක් කෙරෙනු ඇත.

විචිත්‍ර වර්ණයන්ගෙන් සැරසුණු පහන් කූඩු සහ විදුලි ආලෝක ප්‍රදර්ශන, දන්සැල්, ඔසුපැන් හල්, භක්ති ගීත සහ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ අලංකාරය විඳගැනීමට එක් වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සැදැහැ සිත් ඇති ලක්වැසි ජනී ජනයාට ආරාධනා කර සිටී.