ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සුබසාධන පහසුකම් සංකීර්ණයට මුල්ගල තබයි

ජුනි 20, 2024

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදි කිරීමට යෝජිත නව සුබසාධන පහසුකම් සංකීර්ණයේ ඉදිකිරීම් අරඹමින් ඒ සඳහා සුභ නැකතින් මුල්ගල තැබීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (ජුනි 20) දින එම ඉදිකිරීම් භූමියේදී සිදු කරන ලදී.

අද උදෑසන පැවති මෙම කෙටි උත්සවය සඳහා යෝජිත ඉදිකිරීම් භූමියට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිරිපිට ස්ථාපනය කෙරෙන මෙම නව සංකීර්ණය, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය කෙරෙන සුභසාධක වෙළඳසැලකින් ආපනශාලාවකින් හා විනෝදාත්මක කටයුතු වෙනුවෙන් වෙන් වූ ප්‍රදේශයකින් සමන්විත වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාස ​​හයකින් නිම කිරීමට බලාපොරොත්තු වන අතර එය අවසන් වූ පසු විශේෂයෙන් ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයෙහි සේවය කරන විශාල පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.