ආරක්‍ෂක අමාත්‍යංශයේ මුලිකත්වයෙන් පොසොන් පොහෝ දින
විශේෂ වැඩසටහන් මාලාවක් අනුරාධපුර දී...

ජුනි 21, 2024
  • තඹුත්තේගම මූලික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ලබාදීම ආරක්‍ෂක ලේකම් අතින්

රට ජාතිය වෙනුවෙන් තම දිවි කැප කළ අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමත්, රට දැය සමය රැකගැනීමට සටන් වැද රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය පැතීමත්, ලක්වාසී සියලු වැසියන්ට සෙත් පැතීමත් අරමුණු කරගනිමින් දාන, ශීල සහ භාවනාදී පින්කම් මාලාවක් අද (ජුනි 21) පොසොන් පුර පසළොස්වක පොහෝ දින ඓතිහාසික අනුරාධපුර සඳහිරු මහා සෑය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සියලු පින්කම් පැවැත්වේ.

හිමිදිරි උදෑසන පටන් පැවති ආගමික වැඩසටහන් වලට අමතරව "සුවපත් දැයකට වෙර වඩා උර දෙමු" යන තේමාව පෙරදැරිව, සඳහිරු සෑය පුණ්‍ය භාර ගිණුම වෙත පරිත්‍යාගශීලීන් බැර කල මුදලින් මිළදී ගනු ලැබූ රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් තඹුත්තේගම මූලික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙත පරිත්‍යාග කිරීම ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ රෝහල් වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් අද දින පෙරවරුවේ සිදුකෙරිණි.

එමෙන්ම, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ එම සෑ රදුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙන 'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ‍ප්‍රදර්ශනය අද උදෑසන සඳහිරු සෑ පුණ්‍ය භුමියේදී ආරම්භ කළ අතර, මෙම පූජනීය වස්තූන් සඳහිරු සෑය වටා පෙරහැරකින් වැඩම කරවා එහි බුද්ධ මන්දිරයෙහි ඉදිකර ඇති රන්සිවි ගෙය තුල තැන්පත් කරමින් සැදැහැවත් බැතිමතුන් හට අතිශය දුර්ලභ පුණ්‍යකර්මයට දායක වීමටත්, කුසල් රැස් කර ගැනීමටත් පරිශ්‍රය තුළ පහසුකම් සලසා ඇත. මෙම සර්වඥ ධාතුන් වහන්සේලා එළඹෙන ජුනි 24 දින දක්වා සඳහිරු සෑ පොසොන් කලාපයේදී වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රාණි ගුණරත්න මැතිණිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල, වන්නි ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, භටකාර්ය සම්පාදනය අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් රංජිත් ජයසේකර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, මාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් නලින් හේරත් ඇතුළු කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අද සවස සිට ඇරඹීමට නියමිත “සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ” භක්ති ගීත ප්‍රසංග, දන්සල්, පහන් කූඩු, තොරණ ආදී අංගයන්ගෙන් සමන්විත අසිරිය විඳ ගැනීමට සැදැහැවත් පින් කැමති ඔබ සැමට මින් ආරාධනා ...