බදුල්ල සහ පස්සර ප්‍රදේශවල නායයෑමේ අවදානම් සහිත ස්ථාන
හඳුනාගැනීම සඳහා අධ්‍යයනයක්

ජුනි 27, 2024

ගුවන් හමුදා භූ තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදක කණ්ඩායම විසින් පසුගියදා (ජුනි 25), බදුල්ල සහ පස්සර ප්‍රදේශවල නායයෑම් අවදානම් ඇති බවට සැක කෙරෙන ප්‍රදේශ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා LiDAR තාක්ෂණය යොදා ගනිමින් පුළුල් සමීක්ෂණයක් සහ සිතියම්කරණ මෙහෙයුමක් සිදුකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ඉදිරියේදී ඇති විය හැකි නායයෑම් අවදානම් තත්වයන් පිළිබඳ හඳුනා ගැනීම සහ ඒ සඳහා වන පෙරසූදානම ඉහළ නැංවීමේ මූලික අරමුණින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියට සමගාමිව ගුවන් හමුදාව විසින් භූ ස්ථරයේ වඩා නිරවද්‍ය තොරතුරු ලබාගැනීම සහ එම තොරතුරු සිතියම්ගත කිරීම සඳහා යොදාගනු ලබන අධිසංවේදී LiDAR තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මෙම විමර්ශනය සිදුකල බව මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

නාය යාමේ අවදානම් ඇති බවට සැක කෙරෙන ප්‍රදේශවල ප්‍රමාණ සමීක්‍ෂණය සහ සිතියම්ගත කිරීම සඳහා M-300 වර්ගයේ ඩ්‍රෝන් යානාවක්, LiDAR කැමරාවක් සහ තත්කාලීන ජංගම මධ්‍යස්ථානයක් යොදාගෙන ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.