තැනැත්තන් වෙළඳාම මැඩලීම පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ
උප සමුහයේ දෙවන සමුළුව රැස්වේ

ජුනි 27, 2024

තැනැත්තන් වෙළඳාම මැඩලීම පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ උප සමුහයේ දෙවන සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ සංවිධායකත්වයෙන් 2024 ජූනි මස 26 සහ 27 දෙදින තුළ කොළඹ දී සාර්ථක අන්දමින් පවත්වන ලදි.

ජාතික බුද්ධි ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිල කමිටුවේ ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, ඉන් අනතුරුව බිම්ස්ටෙක් සංවිධානයේ ආරක්‍ෂක අංශ ප්‍රධානී MD Mosharaf Hossain මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදි. එමෙන්ම, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂවරිය වන Sarah Lou Arriola මෙනෙවිය ද මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළාය.

මෙහිදී බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජික රටවල් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිත නිලධාරීන් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ තැනැත්තන් වෙළඳාම හා අනෙකුත් මිනිස් ජාවාරම් සම්බන්ධ අපරාධ වැළැක්වීම සඳහා ඔවුන්ගේ රටවල් මගින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ග හා නීති පද්ධතිය පිලිබඳව කරුණු ඉදිරිපත් කළහ.

සමුළුව අතරතුර දී බිම්ස්ටෙක්හි සාමාජික රටවල නියෝජිතයන් විසින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ තැනැත්තන් වෙළඳාම මැඩලීම වෙනුවෙන් පොදු සැලැස්මක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ සාකච්ජා කල අතර, එමගින් බිම්ස්ටෙක්හි පාර්ශ්වකරුවන් අතර ඇති වන ඵලදායිතාවය හා අන්‍යොන්‍ය සහයෝගිතාවය ද අවධාරණය කරනු ලැබීය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරීන් පිරිසක් ද මෙම සමුළුව සඳහා සහභාගී විය.