වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ
දීමනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ජුනි 28, 2024

සක්‍රීය සේවයේ යෙදී සිටියදී විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් ජූනි 26 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමු වී ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත විය.

එහිදී, එම රණවිරුවන් අදහස් දක්වමින්, වෛද්‍ය මණ්ඩලයක් මගින් ආබාධ තත්ත්වයන් නිශ්චය කිරීමෙන් අනතුරුව දැනට ඔවුන් වෙත ලබා දී තිබෙන 10% දීමනාව, 20% දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකලේය.

ඒ අනුව, ඔවුන් වෙත ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, රජය දැනටත් විශාල පිරිවැයක් දරමින් ආබාධිත රණවිරුවන් විශ්‍රාම යනවිට ඔවුන් සඳහා ජීවිතාන්තය දක්වා අදාළ වැටුප් හා දීමනා ගෙවීම, ආබාධිත රණවිරුවන්ගේ මරණයෙන් පසු පවුලේ සාමාජිකයින්හට ඊට අදාළ වන පරිදි වැටුප් හා දීමනා ගෙවීම සහ විශ්‍රාම යන වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවත් මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ට අඛණ්ඩව ඔවුන්හට ලැබිය යුතු වැටුප් හා දීමනා ගෙවීම සඳහා කටයුතු කරන බවත්, ඉදිරියේදීත් එම ගෙවීම් කටයුතු නොනවත්වා සිදුකෙරෙන බවත් අවධාරණය කලේය. තවද මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් යම්කිසි විෂමතාවන් ඇත්නම් ඒ සම්බන්ධව සංඛ්‍යාලේඛන සොයා බැලීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කලේය.

මෙම සාකච්ඡාව සඳහා ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.