ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

ජුනි 29, 2024

ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව, ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීමේ උත්සවය, අද දින (2024 ජුනි 28) නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර Wave n’ Lake උත්සව ශාලාවේදී පැවැත්විණි.

ආරක්‍ෂිත නාවික ගමනාගමනය, සමුද්‍රීය සම්පත් ආරක්ෂාව සහ සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ජල ශාස්ත්‍රීය සේවාව විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ලෝක ජල ශාස්ත්‍රීය සංවිධානය විසින් ලෝක ජල ශාස්ත්‍රීය දිනය ලෙස ජූනි 21 නම්කර ඇත. 2006 වර්ෂයේ ප්‍රථම වරට සමරන ලද ලෝක ජල ශාස්ත්‍රීය දිනය එතැන් සිට වාර්ෂිකව විවිධ කාලීන තේමාවන්ට අනුකූලව පවත්වනු ලබයි. ඒ අනුව, 2024 වර්ෂයේ ලෝක ජලශාස්ත්‍රීය දින තේමාව ලෙස "Hydrographic Information - Enhancing Safety, Efficiency and Sustainability in Marine Activities" ලෙස නම්කර ඇත.

ලෝක ජල ශාස්ත්‍රීය දින සැමරුම් උත්සවයේ ආරම්භක දේශණය, නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සිදු කිරීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් උත්සව සභාව ඇමතීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ජල ශාස්ත්‍රීය සේවාවේ වර්ධනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, සමුද්‍රීය වෙළඳාමේ වර්ධනය සඳහා නිරවද්‍ය සහ පරිපූර්ණ ජල ශාස්ත්‍රීය දත්ත අත්‍යවශ්‍ය වන බවත්, නාවික මෙහෙයුම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පදනම ලෙස ජල ශාස්ත්‍රීය විද්‍යාව ක්‍රියා කරන බවත් පවසන ලදී. ජාතික ජල ශාස්ත්‍රීය පනත බලාත්මක කිරීම, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීම සහ ජල ශාස්ත්‍රීය කවුන්සිලය පිහිටුවීම ඇතුළු ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ සැලකිය යුතු ජයග්‍රහණ මෑත කාලයේ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති බව පැවසු එතුමන්, මෙම මුලපිරීම් විධිමත් කිරීමේදී මුහුණ දුන් සහ ජයගත් ප්‍රබල අභියෝග සිහිපත් කරමින්, ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් නාවික හමුදාව දැක්වූ දායකත්වය එහිදී අගය කරන බව පවසන ලදි. ජාතික ජල ශාස්ත්‍රීය අංශයේ ප්‍රගමණය සඳහා තවදුරටත් රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව පැවසු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නාවික හමුදාවේ කැපවීම සහ දායකත්වය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කිරීමටද එහිදී කටයුතු කෙරිණි.

අනතුරුව, නාවික හමුදාධිපති විසින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ පැමිණීම අගය කරමින්, නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව උත්සව සභාව ඇමතීම සිදු කෙරිණි.

එමෙන්ම, ජාතික ජල ශාස්ත්‍රීය සභාවේ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික), කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය මනීෂා පැස්කුවල් මහත්මිය සහ හිටපු ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරි හා හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික) විසින් ලෝක ජල ශාස්ත්‍රීය දින තේමාවට අදාළව දේශණ පැවැත්වීමෙන් අනතුරුව, මෙම උත්සවය නිමාවට පත්විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදෙස් ආරක්ෂක උපදේශකයින්, ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයට අයත් සාමාජිකයින්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ නිලධාරීන් (NARA), වරාය අධිකාරියේ නිලධාරීන්, කොළඹ විශ්ව විද්‍යාලය, සාගර විශ්ව විද්‍යාලය හා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ විද්‍යාර්ථීන්, පුහුණුවන වෙළඳ නාවික නිලධාරීන් (CINEC) පිරිසක් මෙන්ම නාවික හමුදා මූලස්ථානයේ හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සඳහා සහභාගී වී සිටියහ.

අනුග්‍රහය - www.navy.lk