ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රසායනික අවි සම්මුතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

ජුලි 02, 2024

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින රසායනික අවි සම්මුතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකාව සහ මැලේසියාව තුල සක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රමුඛ ආයතන රැසක පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 24 සිට 28 දින දක්වා කොළඹදී පවත්වන ලදි.

මෙම වැඩසටහන අතරතුර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ මහතා මැලේසියානු නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ජාවක ද නිරත විය. එහිදී රසායනික අවි පාලනය, ප්‍රවර්ධනය සහ ඒ ඔස්සේ කලාපීය ආරක්‍ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාවය පිළිබඳ වන අදහස් හා යෝජනා ද දෙපාර්ශවයේ නියෝජිතයින්ගේ සාකච්ජාවට ලක් විය.

රසායනික අවි ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් රවී රණසිංහගේ මුලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන ලදි. මැලේසියාවේ රසායනික අවි සම්මුතිය පිළිබඳ ජාතික අධිකාරියේ උප ලේකම් ආචාර්ය රාජා සුබ්‍රමනියම් මහතා එරට නියෝජිත පිරිසට නායකත්වය ලබා දුන්නේය.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ ක්‍රියාත්මක නීති රෙගුලාසි වඩාත් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීමේ දී දෙරටේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග බොහොමයක් පිළිබඳව මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් විය. රසායනික අවි සම්මුතිය හා සබැඳි නීති සම්පාදනය, රසායනික අවි වෙළඳාම සහ රේගු පාලනය, රසායනික අවි සම්බන්ධ ආරක්‍ෂාව සහ භාවිතයන්, රසායනික අවි හඳුනාගැනීමේ තාක්ෂණයන්හි දියුණුව සහ නුතන රසායනාගාර පර්යේෂණ මෙන්ම රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය සමඟ අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උපාය මාර්ග ඇතුළු සුවිශේෂී මාතෘකා බොහොමයක් සම්බන්ධයෙන් වැඩසටහන අතරතුරදී තොරතුරු හුවමාරු කරගනු ලැබීය.

වැඩසටහන අතරතුර ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද දෙරටේ නියෝජිතයින්ට අවස්ථාව හිමි විය. රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ ඉදිරි වැඩසටහන් වලට දායක වීමට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සතු හැකියාවන් විශ්ලේෂණය කිරීම සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණ විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අන්තර් සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. රසායනික අවි සම්මුතියෙහි මූලධර්ම ආරක්ෂා කිරීමට සහ සුරක්ෂිත සාමකාමී ලෝකයක් වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මැලේසියාව ඔවුන්ගේ කැපවීම නැවතත් තහවුරු කළහ.