මාලදිවයිනේ නව මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 02, 2024

ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ අතිගරු Masood Imad මැතිතුමා අද (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අද පස්වරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මාලදිවයින් නියෝජිත පිරිස ජෙනරල් ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මාලදිවයින් නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ජෙනරල් ගුණරත්න ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.