ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් කතරගම පාද යාත්‍රාවට එක්වෙයි

ජුලි 06, 2024

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අඛණ්ඩව හයවන වරට, වාර්ෂිකව පැවැත්වෙන කතරගම පාද යාත්‍රාවට එක් වෙමින් වන්දනා ගමන නිමා කළේය.

කතරගම දෙවියන් උදෙසා සිදු කෙරෙන සාම්ප්‍රදායික පුජෝත්සව අතුරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන මෙම වන්දනා ගමන සඳහා ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ සිට සෑම වසරකම බැතිමතුන් සිය දහස් ගණනක් යාපනය ඇතුළු උතුරු අර්ධද්වීපයේ සිට දකුණේ කතරගම දක්වා පාගමනින් ගමන් කරති. යාල වනෝද්‍යානය හරහා ඇති දුෂ්කර මාර්ග ඔස්සේ දීර්ඝ පා ගමනකින් අනතුරුව වන්දනාකරුවන් කතරගම පුදබිමට පැමිණේ.

මෙවර පාද යාත්‍රාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරු ද එක්ව සිටියහ. ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම වනජීවී නිලධාරීන් එක්ව මෙම අනතුරුදායක ගමනේ යෙදෙන වන්දනාකරුවන්ට අවශ්‍ය ආරක්‍ෂාව, සෞඛ්‍ය, සුබසාධන සහ ජීවිතාරක්‍ෂක සේවා ඇතුළු සියලු පහසුකම් සපයමින් සහාය දක්වනු ලබයි.