ශ්‍රී ලංකා යුධ හමුදා ‘වීර මාතා’ උපහාර උත්සවය ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

ජුලි 12, 2024

යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ 'වීර මාතා’ උපහාර උළෙල අද (ජුලි 12) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුද හමුදා මූලස්ථානයේ පැවැත්වූ අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය නිමිත්තෙන්, පසුගිය යුද සමයේදී රට දැය වෙනුවෙන් සිය ජිවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ හා සිය ජිවිත පරදුවට තබමින් අභිතව සටන් වැද දැක්වූ රණකාමිත්වය වෙනුවෙන් පිදෙන 'පරම වීර විභූෂණ' සහ 'වීර වික්‍රම විභූෂණ' පදක්කම් වලින් පිදුම් ලැබූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත උපහාර දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.

මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිකර මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ විය. ඉන් අනතුරුව දේශය වෙනුවෙන් කළ කැපකිරීම්වලට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත මුල්‍ය පරිත්‍යාග පිරිනැමීම ද සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න, රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය, දිවිහිමියෙන් සිදුකල පරිත්‍යාගයන් සහ අපරිමිත සේවය ඇගයීමට ලක් කළේ යුද බිමේ දී තමාගේම සියැසින් දුටු හා අත්විඳි අත්දැකීම් ද ඔවුන් සමග බෙදාහදා ගනිමිනි.

ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ රණවිරුවන් මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.