ගරුතර සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය සෑ රඳුන්ගේ ධාතු ගර්භයෙහි
සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කෙරේ

ජුලි 14, 2024
  • අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනිය සොලොස්මස්ථාන අතුරින්  ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපි පුදබිමේ ඉදිවන දීඝවාපි සෑ රඳුන්ගේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ අද (ජුලි 14) දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

මෙම ඓතිහාසික අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබිය.

හේවිසි පූජා මධ්‍යයේ ප්‍රධාන කරඬුව තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් කරඬු වහන්සේලා සහ නිධන් වස්තු අලංකාර පෙරහැරකින් දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවමින් ප්‍රධාන පුණ්‍යෝත්සවයේ කටයුතු ආරම්භ කෙරිණ.

චිරාගත සම්ප්‍රදායන්ට අනුව එළඹි සුබ හෝරාවේදී මහා සංඝරත්නයේ ආශීර්වාද හා සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ පූජනීය නිධන් වස්තු ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීම ජනාධිපතිතුමන්ගේ සුරතින් සහ දීඝවාපි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සිදුකරන ලදී.
 
ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිධන් වස්තු සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුකරනු ලැබීය.

විවිධ ආක්‍රමණ අභිමුව හානියට පත් දීඝවාපී සෑ රඳුන්ගේ තේජමාන ශ්‍රී විභූතිය ප්‍රතිෂ්ඨාපනය කර සම්බුදු සසුනට පිදුම් දෙන මහඟු පුණ්‍යකර්මයේ, දීඝවාපී මහා දාගැබෙහි ධාතු ගර්භයන්හි සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ ප්‍රධාන පිංකමට සමගාමීව දීඝවාපි පුදබිමේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනීජනයා හට  නවාතැන් පහසුව සැලසීමේ අරමුණින් ඉදිකල සුවිසල් කාමර 20 කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කොට සම්බුද්ධ ශාසනයට පුජා කිරීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සුරතින් සිදු කෙරිණ.

ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩනැගෙන, මහානුභාවසම්පන්න වූ දීඝවාපි සෑ රඳුන්ගේ ස්වර්ණ සුභූතිය යලි ගොඩනැගීමේ උතුම් පින්කමට ලොව පුරා විසිර සිටින සුවහසක් බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් එක්රැස් කරන ලද වටිනා නිධන් වස්තු සම්භාරයක් ද සර්වඥ ධාතූන් වහන්සේලා සමඟින් මෙම පූජනීය ස්තූපයේ තැන්පත් කිරීමට කටයුතු කරන ලදී.

දීඝවාපි සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය, සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානයට සලසා දීමේ දුර්ලභ අවස්ථාව ලබාදීමේ අරමුණින් සිදුකරනු ලැබූ “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගිය සමයේදී දීප ව්‍යාප්තව ප්‍රදර්ශනය කරන ලදී.

මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව බුදුරජාණන් වහන්සේ වැඩම කළ බෞද්ධයන්ගේ පූජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික පුදබිමක් ලෙස සැලකෙන‍ දීඝවාපි පුදබිමේ දී රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පින් අනුමෝදන් කිරීමත්, සියළු ලක්වැසි ජනතාවට සෙත් පැතීමත්, අරමුණු කරගනිමින් සතිපිරිත් සජ්ජායනාවක් ද පසුගිය ජුලි 07 වන දින සිට 14 වන දින දක්වා අඛණ්ඩව පවත්වනු ලැබීය.

ලෝකවාසී දානපතියන්ගේ සහ බැතිමතුන්ගේ නොමසුරු මුල්‍ය සහයෝගය ලැබෙන ‘දීඝවාපිය අරුණ’ අරමුදලින්, දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ මෙම උතුම් කර්තව්‍ය සඳහා අරමුදල් සපයනු ලබයි. දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ  මගපෙන්වීමෙන් සහ පූර්ණ අධීක්‍ෂණයෙන් සිදුකෙරෙන මෙම කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග ඇතුළු විශාල පිරිසකගේ ඉමහත්  දායකත්වයෙන් මෙම පුණ්‍ය කටයුතු සිදුකෙරේ.

ගරුතර මහා සංඝරත්නය, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දයා ගමගේ මැතිතුමා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, පොලිස්පති, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.