ලාහුගල නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ අට දිශා සර්වඥ ධාතුන් වහන්සේලා සහ පුජා වස්තු ප්‍රතිෂ්ඨාපන පුජාව ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ජුලි 15, 2024

ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ අට දිශා සර්වඥ ධාතුන් වහන්සේලා සහ පුජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද (ජුලි 15) දින උදැසන එළඹි සුභ මුහුර්තියෙන් සිදුකරනු ලැබීය.

මහා සංඝරත්නයේ ආශීර්වාද සහ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ස්ථූප පරිශ්‍රයේ අට දිශාවෙහි කරඩු වහන්සේලා මෙන්ම සර්වඥ ධාතුන් තැන්පත් කරන ලද කරඩු වහන්සේ තැන්පත් කිරීම සහ නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ මධ්‍යයේ ධාතුන් වහන්සේලා නිදන් කිරීමද අද දිනයේ දී සුභ මුහුර්තියෙන් සිදුකරන ලදි. නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමිපානන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක්  සිදුකරන ලදි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරමින් ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේ ප්‍රතිස්ථාපනය කර ලෝකවාසී සැදැහැවත් බැතිමතුන්ගේ වන්දනාවට ලක්කිරීම සඳහා සිදුකෙරෙන දැවැන්ත වැඩපිළිවෙලෙහි වැදගත්කම අද දින පැවති පුණ්‍ය මහෝත්සවයේ දී ආරක්‍ෂක ලේකම්වරයා විසින් අවධාරණය කරන ලද අතර, චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා වැයවන මුල්‍යාධාර ලබාදෙමින් නා උයන ආරණ්‍ය සේනාසනය මෙම පුණ්‍යකර්මය සඳහා විශාල ශක්තියක් වන බව ද පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ මග පෙන්වීම සහ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, ඉදිරි වසර දෙකක කාලය තුල චෛත්‍යයේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අපේක්‍ෂා කරන බව ද ජෙනරල් ගුණරත්න මෙහිදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනකට අධික කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී අත්හැර දමා තිබු නීලගිරි ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මූලිකත්වයෙන් 2022 ජනවාරි මාසයේ දී යලි ආරම්භ කරන ලදි.

අම්පාර ලාහුගල රක්‍ෂිතයේ පිහිටා ඇති ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේ නැගෙනහිර පළාතේ විශාලතම මහා දාගැබ ලෙස සැලකේ. පුරාවිද්‍යාත්මක සාධක අනුව කාවන්තිස්ස රජු හෝ භාතිකාභය රජු විසින් ඉදිකරන ලද බවට විශ්වාස කෙරෙන මෙම ස්තුපය පුරාණයේ "උත්තර සීවලී පබ්බත විහාරය" ලෙස හඳුන්වා ඇත. මෑත කාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරන ලද කැණීම් වලින්, සර්වඥ ධාතූන් වහන්සේලා, කුඩා ස්ථුප වල නටබුන් සහ සෙල්ලිපි ඇතුළු පුරාවස්තු විශාල ප්‍රමාණයකින් මෙම ස්ථානය සමන්විත බව සොයාගෙන ඇත.

ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ අට දිශා සර්වඥ ධාතුන් වහන්සේලා සහ පුජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය, දේශීය වෛද්‍ය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් සහ අධ්‍යක්‍ෂක (වාස්තු විද්‍යා සංරක්‍ෂක) ප්‍රසන්න බී රත්නායක, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සහ බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.