අද (26) රාත්‍රී කාලයේ සිට වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දෙසැම්බර් 26, 2020

උතුරු, නැගෙනහිර සහ උතුරු- මැද පළාත්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රී කාලයේ සිට  බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඒ අනුව,ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වේ. කොළඹසිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස්කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ සමුද්‍රීය කාලගුණ වාර්තාවේ සඳහන් වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) ක් දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයේ පවතී.