සීෂෙල්ස් රාජ්‍යයේ ආරක්‍ෂක ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 16, 2024

සීෂෙල්ස් මහජන ආරක්‍ෂක බලකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් Michael Rosette අද (ජුලි 16) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙහිදී ජෙනරල් ගුණරත්න විසින් අද පස්වරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි සීෂෙල්ස් ආරක්‍ෂක ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නිලධාරීන් සුහද කතාබහක ද නිරත විය.

මෙම සුහද සාකච්ඡාවේදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, මෙම හමුවෙහි සුවිශේෂිත්වය සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ පිළිගැන්වීම ද සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් නදීක කුලසේකර ද සහභාගි විය.

සීෂෙල්ස් මහජන ආරක්‍ෂක අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් Michael Rosette පසුගිය ඉරිදා (ජූලි 14) දින නිල සංචාරයක් සඳහා දිවයිනට සම්ප්‍රාප්ත විය.