ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස්
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුවෙයි

ජුලි 16, 2024

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතිගරු මසූද් ඉමාඩ් මැතිතුමා, අද (ජුලි 16) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි එතුමාගේ කාර්යාලයේදී හමුවිය.

සිය කාර්යාලය වෙත සපැමිණි මාලදිවයින් මහ කොමසාරිස් ඇතුළු දූත පිරිස රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස සුහද සාකච්ඡාවක ද නිරත විය. සාකච්ඡාව අතරතුර මෙම හමුව සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කරමින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා මාලදිවයින් රජය සමඟ ඉදිරියටත් සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් මාලදිවයින් මහ කොමසාරිස්වරයා, වඩා ශක්තිමත් සහයෝගීතාවයක් සහ පවතින සමීප සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන විශේෂ කැපවීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

තවද එම අවස්ථාවේ සුවිශේෂීත්වය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණ.