ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ඉතිහාසයේ ප්‍රථම වතාවට
තරුණ විරුවන් ඇගයීමට ලක්වේ

ජුලි 17, 2024
  • ශිෂ්‍යභට බලකායේ ප්‍රථම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, අද (ජුලි 17) දින ජාතික ශිෂ්‍යභට බළකාය විසින් කොළඹ පාමංකඩ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේදී ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් මෙම අභිමානවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ දූරදර්ශී සංකල්පයක් මත, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සංවිධානය කරනු ලැබූ මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණු වනුයේ වීරත්වය පිළිබිඹු වන ක්‍රියාවන්හි යෙදුනු තරුණ තරුණියන් හඳුනාගෙන එම වීරවරයන්, වීරවරියන්  ඇගයීමට ලක්කිරීමත්, සමස්ථ තරුණ ප්‍රජාව අභිමානවත් පෞරුෂයකින් හෙබි තරුණ තරුණියන් බවට පත්කිරීමත් වේ.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශිෂ්‍ය භට බළකායට නව ප්‍රවිෂ්ඨයක් ලබාදෙමින් තරුණ විරු දරුවන්ගේ වීරත්වයන් හඳුනාගැනීමේ සහ එම වීර ක්‍රියාවන් නිසි ඇගයීමකට ලක් කිරීමේ අභිමානවත් අරමුණ පෙරදැරිව, ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ශිෂ්‍යභට බළකාය විසින් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදි.

අනාගත සමාජයේ ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ක්‍රියාශීලි, බහුශ්‍රැත, විනයගරුක සහ අසාමාන්‍ය නායකත්ව ගුණාංගවලින් හෙබි පුරවැසියන් ලෙස ඔවුන්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරනු ලබන තරුණ විරුවන් ඇගයීමට ලක් කිරීම හා උපහාර දැක්වීම වෙනුවෙන් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සිදුකරනු ලබයි.

මෙම සම්මාන උළෙලේදී චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය සහ සසිඳු නිම්සර සිසුවා වෙත සම්මාන පිරිනැමුණේ ඔවුන් විසින් දැක්වූ සුවිශේෂී නිර්භීතභාවය සහ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් විසින් සිදුකරන ලද පරාර්ථකාමී ක්‍රියාවන් අගයමිනි.

එනම්, පුත්තලම  මහකුඹුක්කඩවල, කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිඳු නිම්සර සිසුවා අඩි 36ක් ගැඹුරැති ළිඳකට වැටී ජීවිතයත් සමඟ සටන් කරමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත්වීම සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන පාදුක්ක වග, ඉරිද පොළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය පසුගියදා රාත්‍රියක ඒ අසල පිහිටි වක් ඔය පීටාර ගැලීම හේතුවෙන් තම නිවසේ සිරවී සිටි අඹුසැමි යුවලකගේ ජීවිත බේරා ගත්තාය. රැහැනක ආධාරයෙන් නිවස දෙසට පිහිනා ගොස්, ඉතාමත් ධෛර්ය සම්පන්නව, තම ජීවිතය පවා අනතුරේ හෙළමින් ජිනේන්ද්‍රි ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම යන වීර ක්‍රියාවන් ඇගයීමට ලක්කරමිනි.

අද දින පැවති උත්සව සභාවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සම්මාන ලාභී සිසු දරුවන් දෙදෙනාගේ ආදර්ශමත් වීර ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසා කළ අතර, මෙම විරු සම්මානය ඔස්සේ විධිමත් පුහුණු විෂය මාලාවක් හරහා සාරධර්ම වලින් හෙබි, කාර්යක්‍ෂම හා ඵලදායී නායකයින් බවට පත්කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල වෙත තරුණ පාසල් සිසුන් සම්බන්ධ කිරීම දිරිමත් කරනු ලබන බව ප්‍රකාශ කළේය. එමෙන්ම ජාතික ශිෂ්‍යභට බළකාය හා සම්බන්ධ වී ජාතික සංවර්ධනය සවිබල ගැන්වීමට දායක වන ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටීමට ද ඔහු එය අවස්ථාවක් කර ගත්තේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න, ජාතික ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන් සහ සම්මානලාභීන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටියහ.