යුධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ Armour Symposium - 2024
ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ජුලි 19, 2024

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් සංවිධානය කරන ලද "Armour Symposium -2024", කොළඹ ශ්‍රී ලංකා යුධ හමුදා රොක් හවුස් හිදී අද (ජුලි 19) දින පැවැත්වුණු අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

"Forging Future Frontiers: Empowering Armour through Evaluation and Innovation" යන තේමාව යටතේ මෙවර පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වූයේ, සන්නාහ සන්නද්ධ රථ වල තාක්‍ෂණය හා සම්බන්ධ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් සහ ඒ සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වන පුද්ගලයන් ඒකරාශී කොට මෙරට හමුදා සතු හැකියාවන් සහ ලෝකයේ දැනට භාවිත වන නුතන තාක්‍ෂණයේ ප්‍රභවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමයි.

හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිය (විශ්‍රාමික) විසින් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු විසින් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සම්මන්ත්‍රණ ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබීය.

පසුගිය යුධ සමයේදී දේශය වෙනුවෙන් විශාල මෙහෙයක් කරන ලද හිටපු කීර්තිමත් ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයන් ද සහභාගී වූ මෙම සැසිය අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා, අපගේ සන්නද්ධ හමුදාවන්ගේ කොඳු නාරටිය බඳු වූද, ජාතියට ඉමහත් සේවයක් ඉටුකරනු ලබන අභීත නිලධාරීන් සහ සෙබළුන්ගෙන් සැදුම් ලත් මානව අංගයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

පුහුණු වැඩසටහන් ඔස්සේ ඔවුන්හට තාක්‍ෂණික කුසලතාවන් ලබා දීම පමණක් නොව, නවීන සන්නද්ධ යුධෝපක්‍රම සඳහා අවශ්‍ය සංජානන හැකියාවන් සහ ක්‍ෂණික තීරණ ගැනීමේ කුසලතාවන් ද වර්ධනය කිරීම සහතික කළයුතු බව මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

දැඩි ආතතියක් සහිත සංකීර්ණ, අපැහැදිලි අවස්ථාවන්හිදී පවා වඩා ඵලදායී අන්දමින් සේවයේ ක්‍රියා කිරීමට හා සටන් මෙහෙයවීමට හැකිවන අයුරින් අපගේ හමුදා සාමාජිකයන් සංවිධානය කිරීම සහ තීක්‍ෂණ බුද්ධියක් සහිත විචක්‍ෂණශීලි නායකයින් නිර්මාණය කිරීම, ක්ෂේත්‍රයේ සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් ජනනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සම්මන්ත්‍රණ සැසිය අතරතුර ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකවරයා වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු , විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් මෙන්ම විෂය පිලිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.