මාතලේ සහ දඹුල්ල ප්‍රදේශවල පාසල් කිහිපයක සංවර්ධන කටයුතු
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ජුලි 19, 2024

දඹුල්ල ජාතික පාසලේ ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මැදිහත්වීම මත විමධ්‍යගත අයවැයෙන් රුපියල් ලක්‍ෂ 100ක මුදලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලක්‍ෂ 50ක මුදල් ප්‍රතිපාදනයක් ද සමඟ ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අමාත්‍යවරයාගේ සුරතින් මංගල පස්පිඬැල්ල කපමින් අද දින (ජුලි 19) සිදුවිය. මෙම සංවර්ධන කටයුතු අවසන්වන තුරු සම්පුර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙනු ලබයි.

තවද, ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙත වෙන් වන ප්‍රතිපාදන මුදල් වලින් කොටසක් පාසල් සංවර්ධන කටයුතු සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට යොදවා ගනිමින්, අකුරම්බඩ ප්‍රාථමික විද්‍යාලය වෙත රුපියල් ලක්‍ෂ 200ක මුදලක් සහ මාදිපොල විද්‍යාලය වෙත රුපියල් ලක්‍ෂ 100ක මුදලක් යොදා ගනිමින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුවිය. ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍යවරයාගේ මෙම දූරදර්ශී ක්‍රියාව හේතුවෙන් ඇති විය හැකි හදිසි ආපදා තත්වයන්වලදී මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා එම පාසල් සංවර්ධනය කර ආපදා සහන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යාමටද හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවන් ඇමතූ අමාත්‍යවරයා දරුවන්ගේ දක්‍ෂතාවයන් හඳුනාගැනීම, ඒවාට වටිනාකමක් ලබාදීම මෙන්ම අනාගතය ජය ගැනීමට ඔවුන්ට ශක්තියක් වීම අප සැමගේ වගකීම වන බව ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික), නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, එම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුදරුවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.