ස්විට්සර්ලන්ත ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවේ

ජුලි 22, 2024

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Francois Garraux සිය ධූර කාලය නිමා කර නික්ම යාමට පෙර අද (ජූලි 22) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමු විය.

මෙම හමුවට ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති Olivier Praz මැතිතුමා ද සහභාගී වූ අතර, නවතමයෙන් පත් වූ ආරක්‍ෂක උපදේශක Colonel (GS) Daniel Bader ද මෙම හමුවට එක්විය. උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ස්විට්සර්ලන්ත නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයා මෙරට දී සිදුකල සේවය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව ඔහු වෙත පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පැතුම් එක් කරන ලදී.

මේ වන විට ආරම්භ කර ඇති වැඩසටහන් පුළුල්ව කරගෙන යාමේ සහ සිය රාජකාරීන් සාර්ථකව ඉටු කිරීමේ අභිලාශය මෙහිදී නව ආරක්‍ෂක උපදේශකවරයා අනාවරණය කරන ලදී.

නව භූමිකාවේ සංකීර්ණතා මඟහරවා ගැනීමට ඔහුට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය පළ කරමින් ජෙනරල් ගුණරත්න නව ආරක්‍ෂක උපදේශකවරයා පිළිගත් අතර, දෙරටෙහි පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.