රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්‍ෂ 235 ක් වැයකර
නවීකරණය කල දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට

ජුලි 23, 2024
  • සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්  

නවීකරණය කරන ලද දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත්කිරීම විද්‍යාල පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පා.ම. ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (ජුලි 22) දින සිදුවිය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පාසලේ නඩත්තු හා නවීකරණය සඳහා අත්‍යාවශ්‍ය වූ ඇස්තමේන්තුගත රුපියල් ලක්‍ෂ 235 ක මුදලක්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමාගේ මැදිහත්වීම මත වෙන් කරවාගෙන පාසලේ ගොඩනැගිලි, ජල, විදුලි, සනීපාරක්‍ෂක ඇතුලු සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකර සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් පරිසරයක සිට කරගෙන යාමට හැකිවන පරිදි අද දින සිසු අයිතියට පත්කරන ලදි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් පැවසූවේ, අප රටේ ආගමික හා සංස්කෘතික වශයෙන් විශාල වැදගත්කමක් සහිත දඹුල්ල ප්‍රදේශය, අධ්‍යාපනික වශයෙන් වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙන්ම, දඹුල්ල ජනතාවගේ සමාජ තත්වය උසස් තලයකට ගෙන ඒමට අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් සිටින බවත්ය.

පොතපතට අමතරව පාසල් පද්ධතිය තුලින් ප්‍රායෝගික දැනුම, පෞරුෂත්වය සහ නායකත්වය අපේ දරුවන්ට අපි විසින් ලබාදිය යුතු බවත්, අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය පාසල් පද්ධතිය තුලින් ආරම්භ කල යුතු බවත්, රට හැදීමේ ක්‍රියාවලිය පාසලෙන් ආරම්භ කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි සිටි පිරිස් ආමන්ත්‍රණය කරමින් තවදුරටත් පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සපයා දෙන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් විරංග ප්‍රේමවර්ධන, අධ්‍යාපන බලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.