චීනයේ මහජන විමුක්ති හමුදා 97 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සැමරේ

ජුලි 30, 2024

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 97 වැනි සංවත්සරය සැමරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඊයේ (ජුලි 29) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබිණි.

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, අතිගරු Qi Zhenhong මැතිතුමා සහ එම තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් Zhou Bo විසින් සිදු කරනු ලැබූ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

මෙහිදී උත්සව සභාව ඇමතූ ජෙනරල් ගුණරත්න, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ශක්තිමත් ආරක්‍ෂක සබඳතාවය සහ වසර ගණනාවක් පුරා චීන රජය විසින් මෙරටට ලබා දුන් සහයෝගය වෙනුවෙන් අතිගරු තානාපතිතුමා සහ චීන රජය වෙත සිය කෘතඥතාව පළ කළේය. තවද මෙම උත්කර්ෂවත් සැමරුම් අවස්ථාවට සහ චීන මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයින් වෙත සිය උණුසුම් සුබ පැතුම් ද එක් කරන ලදී.

“චීනය සහ ශ්‍රී ලංකාව අනාධිමත් කලක පටන් සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් වන අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 67 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් වන බවත් දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්‍රයත්නයන් ඔස්සේ තවදුරටත් ද්විපාර්ශ්වික හමුදා සබඳතා ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇති බවත් චීන තානාපති, අතිගරු Qi Zhenhong මැතිතුමා ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ සහ නාවික හමුදාපතිවරුන්, විශ්‍රාමික සහ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.