රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ප්රණාම සහතික ප්රදානෝත්සවය
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්
අගෝස්තු 01, 2024
- සමුද්‍රාරක්ෂක නිලධාරි (Sea Marshal) තනතුරු පුරප්පාඩු 500ක් වෙනුවෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර, ඉදිරියේදී තවත් දහස් ගණනකට රැකියා අවස්ථා
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සේවය කරනු ලබන විශ්‍රාමික රණවිරු සාමාජිකයන් වෙත ප්රණාම සහතික ප්රදානෝත්සවය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුහුරුපාය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඊයේ (ජූලි 31) දින සන්ධ්‍යාවේ දී පැවැත්විණ.
මාතෘභූමියේ ස්වෛරීභාවය සහ චිරස්ථිතිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය දැක්වීමෙන් පසු විශ්‍රාම ලැබීමෙන් අනතුරුව තවදුරටත් සිය සේවය සැපයීමට හැකියාව සහිත විශ්‍රාමික රණවිරුවන්ගේ උදාරතර සේවය දේශය වෙනුවෙන් ලබාදීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ 2007 වසරේදී සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවන ලදි. ඔවුන් විසින් සිය සේවයේ දි ඉටුකරනු ලබන දායකත්වය සහ තම ආයතනය වෙනුවෙන් අවංකව දැක්වූ අනර්ඝ සේවය ඇගයීම වෙනුවෙන් ප්රණාම සහතිකපත් පිරිනැමීම සඳහා මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, විවිධ අභියෝග හමුවේ පවා නොසැලී ක්‍රියාත්මක කෙරුණු මෙම සමාගම ඔස්සේ විශ්‍රාමික රණවිරුවන් දහස් ගණනකගේ පමණ දායකත්වය ලබාදීමට හැකි වී ඇති බවත්, ඒ ඔස්සේ ඔවුන් හට ගෞරවනීය රැකියා අවස්ථාවක් සහ උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් ප්‍රකාශ කලේය.
තවද, විදෙස් සමාගමක් සමග පසුගිය සමයේ සිදුකරනු ලැබූ සාකච්ඡා වල ප්‍රථිපලයක් වශයෙන් එම සමාගමේ සමුද්‍රාරක්ෂක නිලධාරි තනතුරු පුරප්පාඩු 500ක් වෙනුවෙන් මේ වනවිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත්, ඉදිරියේදී තවත් දහස් ගණනක් වෙනුවෙන් මෙම රැකියා අවස්ථා විවර වනු ඇති බවත් සහ ඒ ඔස්සේ රටට විශාල විදේශ විනිමයක් ගෙන ඒමට හැකි වනු ඇති බවත් කරුණු අනාවරණය කලේය.
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරල් පී චන්ද්‍රවංශ (විශ්‍රාමික), ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතා, රක්නා ආරක්ෂක සමාගමේ ප්‍රධාන ගණකාධිකාරි සිසිරකුමාර සමරතුංග මහතා සහ එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කණිෂ්ක ද සිල්වා මහතා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙන්ම ආයතනයේ සේවක සාමාජිකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.