ඊයේ (26) දින තවත් PCR පරීක්‍ෂණ 13,516 ක් - කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 27, 2020

අද (දෙසැම්බර් 27) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 598 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 40,379 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් පස් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර අනෙක් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් 235 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 84 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 164 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 110 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 27) ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,670 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 28,643 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඊයේ (26) දින තවත් PCR පරීක්‍ෂණ 13,516 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 526 ක් වන අතර මාලදිවයිනේ සිට එක් අයෙක්, කටාර් සිට පුද්ගලයින් 130 ක්, ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 68 ක්, ජපානයේ සිට 74 ක්, ජෝර්දානයේ සිට 200ක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ගණන 53 ක් වේ. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව වෙතින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ 712 දෙනෙක් වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 32,050 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,142 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73 ක් යටතේ පුද්ගලයින් 5,791 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණයත් සමඟ රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.