නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටී

අගෝස්තු 01, 2024

නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටී

නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරුන් මෙන්ම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවට හෙලිවූ කරුණු වාර්තා කරමින් මියන්මාරයේ රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය සියලුම ශ්‍රී ලාංකිකයින්ට තරයේ අවවාද කර සිටින ලදී.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් මෙවැනි අනතුරු ඇඟවීම් කරන ලද පසුබිමක  ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු නීතිවිරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර මහත් පරිශ්‍රමයකින් අනතුරුව එයින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු මේ වනවිට නිදහස් කර ගැනීමට හැකිවී ඇත. කෙසේ වෙතත්, මෙම සයිබර් අපරාධ ප්‍රදේශයේ තුළ තවමත් ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු කොටු වී සිටි.

ශ්‍රී ලංකා රජය මියන්මාර රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙලෙස සිරවී සිටින පිරිස නිදහස් කර ගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටී.  කෙසේ වෙතත්, මෙම අනතුරු ඇඟවීම් සහ ඔවුන් මුදා ගැනීමේ අඛණ්ඩ උත්සාහයන් නොතකා, ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී මාර්ග හරහා රැකියා සඳහා මියන්මාරයට යාමට තවදුරටත් පෙලඹෙන බව බව නිරීක්ෂණය වේ.

මෙම තත්වය සලකා බලා නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයට රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. තවද, පවත්නා තත්වය නොසලකා මෙවැනි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන පිළිබඳ තොරතුරු වහාම ආරක්ෂක අමාත්‍යාංශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.