ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී වෙත අනුස්මරණ දේශනය පවත්වයි

අගෝස්තු 12, 2024

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායයේ සංවිධානය කරන ලද ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීසී පීඑස්සී අනුස්මරණ දේශනයට ගෞරවනීය ආරාධිත අමුත්තෙක් වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ද 2024 අගෝස්තු 09 දින සහභාගී විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් සහ දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහභාගී වූහ.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව, රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්විමෙන් මවිබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව, ඔවුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ඉතිහාසය සහ ජයග්‍රහණ ප්‍රදර්ශනය කරන ලද වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන ලද අතර, අනතුරුව එම රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්. එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රැස්ව සිටි පිරිස අමතමින් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මව්බිම වෙනුවෙන් සිදුකල දායාදය සහ අමිල මෙහෙවර පිළිබඳව අවධාරණය කළේය.

පසුව දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ සේවය සහ පරිත්‍යාගය සිහිගන්වමින් විශේෂ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරෙණි. මෙහිදී මේජර් ජෙනරල් එන්.ආර්. මාරඹේ (විශ්‍රාමික) ආර්ඩබ්ලිවීපී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ධෛර්යය සහ නායකත්වය පිළිබිඹු කරමින් අනුස්මරණ දේශනය සිදුකළේය.

මෙම අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තන් වෙත සමරු ඵලකයන් ප්‍රදානය කිරීම සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ ස්තුති කථාවෙන් අනතුරුව අනුස්මරණ උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

අනුග්‍රහය - www.army.lk